Our customer support team is here to answer your questions. Ask us anything!

සභාපතිතුමාගේ පණිවුඩය

ග්‍රාමීය ණයගැතිභාවය, දිළිඳුකම, විරැකියාව ආදි වශයෙන් ග්‍රාමීය ජනතාව නිරන්තරව මුහුණ දුන් ගැටළු හා අභියෝග වලට විසදුම් ලබා දීමේ ක්‍රියාවලියකට අතහිත දීමේ ව්‍යවසාය සංවිධානයක් ලෙස 1948 වර්ෂයේදී දිවංගත දේශබන්දු එන්.එච්. කීර්තිරත්න මැතිදුන්ගේ සංකල්යක් මත අරඹන ලද සී.ස. කිණිගොඩ කෝරළේ සමුපකාර ඉඩම් උගස් බැංකුවට වසර 75 ක් සම්පුර්ණ මෙවන් මොහොතක නුනත ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ අනාගත මුල්‍ය හා මෙහෙයුම් ක්‍රියාකාරකම් සැලසුම් කිරීමට හැකිවීම අප ලැබු සුවිශේෂ ජයග්‍රණයක් ලෙස සලකමි.

රටක සමාජ හා ආර්ථික සංවර්ධනය උදාකර ගැනීමේදී එහි පුරවැසියාගේ නැතහොත් පුද්ගලයාගේ යහපැවැත්ම හා පුද්ගල සංවර්ධනය වැදගත් සාධකයක් බවට පත්ව ඇත. ඒ නිසා අපට පුද්ගල සංවර්ධනයකින් තොරව රටක සංවර්ධනය අපේක්‍ෂා කළ නොහැකි බැවින් වෙනස් වන ජන සමාජය තුළ අප චින්තනමය වශයෙන් පරිවර්තනීය වෙනසකට සුදානම්ව සිටිම ඉතා වැදගත් වේ.

මිනිසාගේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික දියුණුව ළඟා කර ගැනීමේදී ඊට බලපාන්නා වු සියලු මිනිස් අවශ්‍යතාවයන් තනිව ඉටුකර ගත නොහැකි බැවින් ඒ සඳහා නොයෙකුත් ව්‍යවසායකයන් පැවතියද සමුපකාරික ගති ලක්‍ෂණ වලින් සමන්විත සමුපකාර සමිති සංවිධාන තුළින් සිදුවන මෙහෙය අපට සුළු කොට තැකිය නොහැකිය.

නුතන මුල්‍ය වෙළඳපලේ බැංකු හා මුල්‍ය ආයතන රාශියක් ජනතා අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාත්මක වුවද ඒවායේ ප්‍රතිලාභ සමාජ සුබ සාධක ක්‍රම මඟින් ගමට හා සමාජයට ගලා යෑම සිදු වන්නේ ඉතා අල්ප වශයෙනි.

තිරසාරභාවය ඉලක්ක කර ගත් ඕනෑම සංවිධානයක අපේක්‍ෂිත ප්‍රතිඵල ළඟා කර ගැනීමේදී එහි ප්‍රතිලාභ සංවිධානයේ අභ්‍යන්තර හා බාහිර සියලු ප්‍රජාවන් වෙත ලැබෙන පරිදි සංවිධානය වී තිබීම ඉතාමත් වැදගත් වේ.

අපගේ බැංකු ව්‍යාපාරයද වර්තමානයේ දී ඉහත කී සුවිශේෂි ලක්‍ෂණ රැසකින් සමන්විත වීමෙන් අනෙකුත් සමුපකාර සමිති සංවිධාන අතර ආදර්ශමත් සමුපකාරික බැංකුවක් ලෙස ජනතාව අතර ප්‍රසාදයට ලක් වී ඇත.

අප මුල්‍යායතනය ආර්ථික සංවිධානයකට පමණක් සීමා නොවී සමාජ සංවිධානයක් වශයෙන් අපගේ ගණුදෙනුකාරභවතුන් වෙත ප්‍රතිලාභ රැසක් ගම කේන්ද්‍ර කර ගනිමින් පසුගිය කාලය තුළ අපට ක්‍රියාත්මක කළ හැකි විය.

ඒවා අතර ගැමි අරුණ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය, ජනසෙත රක්‍ෂණ ක්‍රමය, සුර්ය පැනල ව්‍යාපෘතිය, ඩයමන්ඩ් ණය යෝජනා ක්‍රමය මෑත කාලීනව අපට මැනවින් සාර්ථක කර ගැනීමට හැකි විය.

අප බැංකු ආයතනය වර්තමානයේ පස් අවුරුදු දීර්ඝ කාලින උපක්‍රමික සැලසුම්කරණ ක්‍රියාවලියක් මඟින් මුල්‍ය හා මෙහෙයුම් ක්‍රියාකාරකම් නවීන තාක්‍ෂණික ශිල්ප ක්‍රම ඔස්සේ ගොඩ ගැනීමට සැලසුම් කර ඇති අතර තවදුරටත් ග්‍රාමීය ජනතාව කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට මා ඇතුළු ගරු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇත.

තොරතුරු තාක්‍ෂණය මඟින් අනාගත අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් මුල්‍ය වෙළඳපල ජයගෙන අපගේ අරමුණු හා පරමාර්ථ තුළින් ඉදිරි දැක්ම වෙත ළඟා වීම අප සැමගේ ඊළඟ ඉලක්කයි.

දේශමාන්‍ය, සිංහ ඒ. ටී. එම්. අනුර කුමාර තෙන්නකෝන්
සභාපති - සී.ස. කිණිගොඩ කෝරළේ සමුපකාර ඉඩම් උගස් බැංකුව


(සාමාන්‍යාධිකාරි - කෑගල්ල විවිධ සේවා සමුපකාර සමිතිය)
(උප සභාපති - කෑගල්ල දිස්ත්‍රික් සමුපකාර මණ්ඩලය)
(අධ්‍යක්ෂ - කෑගල්ල දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය)